3. නුඹේ සිනා අප ලොව නිති සුවඳ කුසුම් පුබුදන්නේ...



සඳ වටකර රෑ අහසේ රන් තරු කැට බබළන්නේ
මඳ සුළඟේ දැවටීලා තුරු ලිය ගී මුමුණන්නේ
සුදු පාටින් බැබලි බැබලි මල් කුමරියො හිනැහෙන්නේ
ඒ මිහිරෙන් මගෙ රන්කැටි පුතු නැළැවී නිදියන්නේ

සඳ එළියේ පුළුන් වළා ඔරුවකි අර පා වෙන්නේ
එහි නැගිලා සුරංගනාවියො පොළොවට පැමිණෙන්නේ
පිණි ඉහිරුණු තණ බිස්සේ වළා ඔරුව නැවතෙන්නේ
සුරංගනා කුමරියො ඉන් බැස මේ දෙසටයි එන්නේ

හෙමිහිට රැළි නැගෙනා විල් තෙර මඳකට නවතින්නේ
දෝත පුරා කුමුදු නෙළා මල් මාලා අමුණන්නේ
ඒ මල් ගෙන සිනා සිසී හෙමිහිට පා තබමින්නේ
මා පුතු දෙස එබිකම් කර හොර රහසෙන් මුමුණන්නේ

සඳ කුමරුන් පරදන රුව ඇති මා රන් කැටි පුතුනේ
සඳ එළියක් සේ ලොවටම මිහිර ගෙනෙන මගෙ පුතුනේ
සුර ලියන්ගෙ කුමුදු මලින් කිරුළු පලන් කුමරුවනේ
නුඹේ සිනා අප ලොව නිති සුවඳ කුසුම් පුබුදන්නේ


Back to Top