13. මේ සිංහල අපගෙ රටයි...

Image Source: greenholidaytravels.com/attractions/anuradhapura-sri-lanka/

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙණ රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

අහස සිඹින ගිරි කඳුරු
පොළව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු

මවු බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේ වලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ

සමනොළ ගිරි වළලු බිමේ
බුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ

සමනොළ ගිරි වළලු බිමේ
මුනි සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

~

ගායනය: නන්දා මාලිනී
පද රචනය: මහගම සේකර
සංගීතය: පණ්ඩිත් අමරදේව



12. එකමුතු වෙමු නිති සුරකිමු - උරුමය අප දිනු රටේ...

Image Source: http://www.hotelsdirectbuy.com/hotels/upcoming-sri-lanka-hotels-in-2012/

 පොළොවෙන් මතුවන මිණිකැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට

ගිරි සිරසින් සැදී ඇදී - කළු මහවැලි කැළණි නදී
දසත සරා දෙරණ සලා - හෙළබිම සරු කරන ලදී
සීගිරියේ බිතු සිතුවම් - ඉසුරුමුණියේ ගල් කැටයම්
සිරි ඉතිරේ අනුරපුරේ - යුගයක හෙළ විරු විකුමන්

වැවෙන් ජලය කෙතට හලා - ගලෙන් විකුම් පිළිම නෙලා
පොළොන්නරුවෙ හෙළ විරුවන් - රුවන් දෙරණ සසිරි කළා
අසිරිය දැක මගේ රටේ - පිට රටිනගේ අවි ගැටේ
එකමුතු වෙමු නිති සුරකිමු - උරුමය අප දිනු රටේ

ගායනය : හර්ෂණ දිසානායක
සංගීතය : රෝහණ වීරසිංහ
 
 


11. මිහිබට සුර කුමරුන්...


සෙනෙහෙ උල්පත් නුඹ නමින් පැන නැගී දස අත දෝරෙ ගලනා
මහ සයුර නුඹ ඒ සෙනෙහෙ දිය දහර කැටි කොට සිනා සලනා
කිරි සුවඳ පිරි සිඟිති රන් කැටි මුව මඬල දෙස බලා තුටිනා
සුර ලොවට ගොස් ගෙනා අප රන් පුතුන් රකිනෙමි මිණක් ලෙසිනා


10. පුංචි පුතාගේ අම්මා සමනළයාට කීව කවි...



අරුණෝදේ සුපිපෙන මල් ගොමු මත
රොන් උරනා රන් සමනළ පැටවුනි
එපා දුවන්නට මා පොඩි පුතු දැක
නපුරක් නෑ මා පුතු මල් කැකුළකි

ගහට කොළට පොඩි කුරුළු පැටවුනට
හරිම ආදරෙයි අවිහිංසක පුතු
හිනැහෙන මල් දැක නටන සමනලුනට
ගීත ගයා තුටු වෙයි මා පොඩි පුතු

නපුරු හිතක් නෑ හිංසාවක් නෑ
නුඹ දෙස බලමින් සතුටින් හිනැහෙයි
නුඹෙ ඔය ලස්සන දේදුනු පැහැයෙන්
මා පොඩි පුතු නුඹ සිත්තම් කරාවි

ඔහු එනු දැක ඔබ සැඟවී ගියහොත්
කඳුළු වැලින් පොඩි මුහුණ තෙමේවී
මා පොඩි පුතුගේ ගීත අසන්නට
රොන් උරමින් ඔතනම ඉනු මැනැවී


Back to Top