16. හිටිවන කතන්දර...1



ඕන්න එකෝමත් එක රටක එක කැලෑවක හිටියලු චූටි සමනල් පැංචෙක්. මෙයාට තිබුණෙ දේදුන්නක් වාගේ ලස්සනම ලස්සන පිහාටු. ඔන්න දවසක්දා මේ සමනල් පැංචා පිටත් වුනාලු ගමනක් යන්න - කොහෙද දන්නවද? සිරීපාදෙ. සිරීපාදෙටන සමනළ කන්ද කියලත් කියන්නේ. සමනල්ලු ගොඩාරියක් යනවා සිරීපාදෙ වඳින්න, ඒ හින්දා තමයි ඒකට සමනළ කන්ද කියලත් කියන්නේ.

ඉතිං ඔන්න මේ සමනල් පැංචා කැලේ මැද්දෙන් පියාඹගෙන පියාඹගෙන යද්දි අනේ ඔන්න එක පාරටම අහස කළු කරගෙන ගොරෝ ගොරෝ මහ හයියෙන් වහින්න ගත්තලු. සමනල් පැංචව හොඳටෝම තෙමුණා. චූටි අත්තටු තෙමුණම සමනල් පැංචට පියාඹන්න බෑනේ. එයා ලඟම තිබ්බ ගහක බෙනයක් අස්සට රිංගගෙන අඬන්න ගත්තලු.

ඈ........ ඈඈඈ...................... ඈඈ....................

සමනල් පැංචා ඔහොම අඬ අඬ ඉන්න කොට ඔන්න එකපාරටම එළියෙන් සද්දයක් ඇහෙන්න ගත්තලු.

ටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක්.........

සමනල් පැංචා ඇඬිල්ල පොඩ්ඩකට නවත්තලා අහගෙන හිටියලු. ඔන්න එළියෙන් කටහඬකුත් ඇහුණලු. "කවුද මේ මගේ ගේ ඇතුළේ ඉඳන් අඬනවා ඇහෙන්නේ?" බලනකොට කවුද මේ? කොට්ටෝරු හාමි.

සමනල් පැංචා ආයෙමත් අඬන්න ගත්තලු. අඬ අඬම උත්තර දුන්නලු. 
"අනේ මං මේ සිරීපාදෙ යන්න පිටත් වුනේ. මගදි මාව වැස්සට අහුවුනා. මගේ අත්තටුත් හොඳටෝම තෙමුණා. ඒවා වේලෙනකල් මට පියාඹන්න බෑනේ.... ඈ ඈ ඈ........"

කොට්ටෝරු හාමි හිනාවෙලා සමනල් පැංචගේ ඔළුව අත ගෑවලු. "අනේ ඉතිං අඬන්නෙ නැතුව ඉන්න සමනල් පැංචෝ. අත්තටු වේලෙනකල් ඔයාට ඕනතරං වෙලා මෙහෙ ඉන්න. ඒකට කමක් නෑ." කොට්ටෝරු හාමි එහෙම කියලා ආයෙමත් කල්පනා කළාලු. "ඔයාට දැන් හොඳටම බඩගිනිත් ඇති නේද. ඒත් ඉතිං ඔයා මං කන කෑම ජාති කනවද?" කියලා කොට්ටෝරු හාමි ඇහැව්වලු. කොට්ටෝරු හාමි කන්නෙ මොනවද? ගස් පොතු අස්සෙ හැංගිලා ඉන්න චූටි චූටි සත්තුන්වනේ. සමනල් පැංචා ඒවා කන්නේ නෑනේ. ඉතිං සමනල පැංචා නැහැයි කියන්න ඔළුව වැනුවලු.

කොට්ටෝරු හාමි ආයෙත් කල්පනා කළාලු. "හරි හරි, ඒකට කමක් නෑ. මං ගිහිල්ලා අපේ යාළුවන්ගෙන් අහලා එන්නංකෝ සමනල් පැංචා කන්න ආස දේවල් එයාලා ලඟ තියනවද කියලා. තියනවනං ඉල්ලගෙන එන්නංකෝ. එතකල් සමනල් පැංචෝ, ඔයා ඔතනට වෙලා හොඳට විවේක ගන්නකෝ. මෙන්න කියවනවනං පොත් තියනවා, චිත්‍ර අඳිනවනං මෙන්න පින්සල්-පාට තියනවා, සින්දු කියනවනං ඔය තියෙන්නේ මගේ සංගීත භාණ්ඩ ටික. කැමති දෙයක් කරන්නකෝ."

කොට්ටෝරු හාමිගේ කරුණාවන්ත කම ගැන සමනල් පැංචා ස්තූති කළා. "හොඳයි කොට්ටෝරු හාමි මාමේ. බොහොම ස්තූතියි."

ඉතිං කොට්ටෝරු හාමි ඉගිල්ලුනා. ඒ වෙද්දි වැස්ස ටිකක් අඩු වෙලා තිබ්බේ. එයා ගිහිං අල්ලපු ගහේ හිටපු පිළිහුඩුහාමිගේ ගේ ලඟ නතර වුනා.

ටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක්......

ඒ වෙලාවේ පිළිහුඩුහාමි ඉරිච්ච ඇඳුමක් මහ මහ හිටියේ. එයා කණ්ණාඩි දෙකට උඩින් දොර දිහා බැලුවා. "කවුද?"

"පිළිහුඩු හාමි, මේ මම - කොට්ටෝරු."

පිළිහුඩුහාමි නැගිට්ටා. "ආ... මේ අපේ කොට්ටෝරු හාමි නේ.... එන්න එන්න ඇතුළට.... මොකෝ මේ වැස්සෙම?"

කොට්ටෝරුහාමි සමනල් පැංචට වෙලා තියෙන අකරතැබ්බෙ ගැන කිව්වා. "මං මේ ආවේ සමනල් පැංචට කන්න දෙන්න පුළුවන් මුකුත් පිළිහුඩුහාමි ගාව තියනවද අහන්න. එයාට කන්න පුළුවන් කිසිම දෙයක් අපේ ගෙදර තිබ්බෙ නෑනේ," කියලා අන්තිමේදි කිව්වා.

පිළිහුඩු හාමි කල්පනා කළා. "මං ගාව තියෙන්නේ හාල්මැස්සො, මාළු එහෙමනේ කොට්ටෝරු. සමනල් පැංචා ඒවා කාවිද?"

නෑනේ. සමනල් පැංචා ඒවා කන්නෙ නෑ. කොට්ටෝරු හාමි ඔළුව වැනුවා. "කමක් නෑ පිළිහුඩු හාමි, මං ගිහිල්ලා තව ටිකක් හොයලා බලන්නංකෝ." කොට්ටෝරුහාමි පිළිහුඩු හාමිට ස්තූති කරලා ආයෙමත් ඉගිල්ලුනා.

එයා ඊලඟට ගියේ ගස් දෙකක් එහායින් හිටපු කපුටු හාමිගෙ ගේ ලඟට.

ටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක්.......

ඒ වෙලාවේ කපුටු හාමි හිටියේ වැස්ස හින්දා සීතලට හොඳට පෙරෝගෙන නිදාගෙන. එයා නැගිටලා නිදිගැට ඇරලා දොර දිහා බැලුවා. "කවුද...?"

"කපුටු හාමි, මේ මම - කොට්ටෝරු."

කපුටු හාමි ඇඳෙන් බැස්සා. "ආ... මේ අපේ කොට්ටෝරු හාමි නේ.... එන්න එන්න ඇතුළට... මං මේ පොඩ්ඩක් ඇල වෙලා හිටියා. මොකෝ ඉතිං මේ වැස්සෙම?"

කොට්ටෝරු හාමි සමනල් පැංචගේ කතාන්දරේ කපුටුහාමිටත් කිව්වා. "මං මේ ආවේ සමනල් පැංචට කන්න දෙන්න පුළුවන් දෙයක් කපුටු හාමි ලඟ තියනවද අහන්න. එයාට කන්න පුළුවන් කිසිම දෙයක් අපේ ගෙදර තිබ්බෙත් නෑ, මං පිළිහුඩු හාමිගෙන් ඇහැව්වා, එහෙ තිබ්බෙත් නෑ," කියලා අන්තිමේදි කිව්වා.

කපුටු හාමි කල්පනා කළා. "මං ගාව තියෙන්නේ පාන් කෑලි, විස්කෝත්තු කෑලි, බත් ඇට, මස් කටු, මාළු කටු එහෙමනේ කොට්ටෝරු. සමනල් පැංචා ඒවා කාවිද?" නෑනේ. සමනල් පැංචා ඒවා කන්නෙත් නෑ. කොට්ටෝරු හාමි ඔළුව වැනුවා. "කමක් නෑ කපුටු හාමි, මං ගිහිල්ලා තව ටිකක් හොයලා බලන්නංකෝ." එයා කපුටුහාමිට ස්තූති කරලා ආයෙමත් ඉගිලුනා.

ඊලඟට කොට්ටෝරුහාමි ගියේ පැණි කුරුළු හාමිගේ ගෙදරට. 

එයා කොහොමද දොරට තට්ටු කළේ? ටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක්.......

ඒ වෙලාවේ පැණි කුරුළු හාමි හිටියේ කෑමක් උය උය. දොරට තට්ටු කරන සද්දෙ ඇහිලා එයා හැරිලා බැලුවා. "කවුද?"

"පැණිකුරුළු හාමි, මේ මම - කොට්ටෝරු."

පැණිකුරුළු හාමි ලිප නිවලා ඇවිල්ලා දොර ඇරියා. "ආ... මේ අපේ කොට්ටෝරු හාමි නේ.... එන්න එන්න ඇතුළට. ඉතිං මොකද මේ වැස්සෙම?"

කොට්ටෝරු හාමි සමනල් පැංචගේ කතාන්දරේ පැණිකුරුළු හාමිටත් කිව්වා. "මං මේ ආවේ සමනල් පැංචට කන්න දෙන්න පුළුවන් දෙයක් පැණිකුරුළු හාමි ලඟ තියනවද අහන්න. එයාට කන්න පුළුවන් කිසිම දෙයක් අපේ ගෙදරත් නෑ, පිළිහුඩුහාමිගේ ගෙදරත් නෑ, කපුටුහාමිගේ ගෙදරත් නෑ," කියලා අන්තිමේදි කිව්වා.

පැණිකුරුළු හාමි හරි සන්තෝසෙන් හිනා වුනා. "කොට්ටෝරුහාමි එහෙනං මේ ආවේ හොඳ වෙලාවට. මං මේ පැණි වළලු හද හද හිටියේ. රෝස මල් පැණි වලින් තමයි හැදුවේ. සමනල් පැංචා හරි ආසයිනේ රෝස මල් පැණි වලට. ඉන්නකෝ, මං ඔතලා දෙන්නං එයාට ගිහින් දෙන්න."

පැණිකුරුළු හාමි පැණි වළලු ගොඩාරියක් ඔතලා පාර්සලයක් බැඳලා කොට්ටෝරුහාමි අතට දුන්නා. කොට්ටෝරුහාමිත් හරි සන්තෝසෙන් පැණිකුරුළු හාමිට හුඟාක් ස්තූති කරලා, පින් දීලා පැණි වළලු පාර්සලෙත් හොටෙන් අරගෙන ආපහු ගෙදරට පියෑඹුවා. පියාඹලා ගිහිල්ලා සමනල් පැංචට පැණි වළලු කන්න දුන්නා. සමනල් පැංචත් ඒවා කාලා බඩත් පුරෝගෙන, අත්තටුත් වේලගෙන කොට්ටෝරු හාමිට ගොඩාක් ස්තූති කරලා හරි සන්තෝසෙන් ආපහු සිරීපාදෙ යන්න පිටත් වුනා.




15. හරි ලස්සන නුවරක මාළිගාවක කලබලයක් (ටිකිරි කුමාරයා)



හරි ලස්සන නුවරක මාළිගාවක කලබලයක්
හුඟ ඈත දවසක පුංචි කුමරුවෙක් කළ හරියක්

අස්සය ගෝන් ටික් ටික් ටික් //

කටේ කිරි සුවඳ මැකෙන්ට කළියෙන් ඔන්න පුතේ
යුද්දෙට උපන්න කුමරා කියලයි කීවෙ රටේ
පුංචි කටහඬට ඇත් අස් සේනා මෙල්ල වුනේ
පරංගි රජුටත් මර උණ දැනුණා උපන් වෙලේ

අස්සය ගෝන් ටික් ටික් ටික් //

පරංගි හතුරා රට ගිනි තිබ්බම හතරවටේ
වැසියන් දුක් ගිනි විලාප නැගුවා පුංචි රටේ
සිංහ නාදයයි හෙළ දෙරණේ රණ ගීය වුනේ
රට රැක ගන්නට හිතට ගන්න මගෙ පුංචි පුතේ

ටිකිරි කුමාරයා යුද්දෙට යනවා
බිය වී හතුරන් පැනල දුවනවා //

අස්සය ගෝන් ටික් ටික් ටික් //

අංගම් මඩුවේ හපන් කරන්නේ මේ රුසියා
පණික්කි ඇත්තගෙ කරට කර ඉඳන් හටන් කරා
සුදු අසු පිට ගිනිරාමෙට කරණම් බොහොම සැරේ
ඒ ටිකිරි කුමරුමයි රාජසිංහ මහ රජුන් වුනේ

අස්සය ගෝන් ටික් ටික් ටික් //

ටිකිරි කුමාරයා වාගේ පුතේ
වීර දූ පුතුන් වෙන්න රටේ
රාජසිංහ දෙවි නාමෙ බලේ
මැකෙන්ට නොදෙන්න මගේ පුතේ ////

~~~~~~~~

ගායනය: විශාරද නන්දා මාලනී
පදරචනය: ජයමාලි මල්ලව ආරච්චි
සංගීතය: අරුණ ගුණවර්ධන



14. පින් පුරව් සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ...


Image Source: http://www.steuartholidays.com/destinations-in-sri-lanka/anuradhapura-sri-lanka/

නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ

දෙස් විදෙස් පතාලවු කිත් යසසින් ලෙවන් පසුබා සැදී
මී මුතුන් සුවහස් දනන් විය මව් බිමේ නාමෙන් බැඳී
සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
උන් මළත් අපගේ විකුම් විමසා සදා නොනිඳා ඉඳී

දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැළේ හදවත් අපේ
මින් මතුත් මේ මව් කුසේ උණුසුම් පැතූ දරුවන් ලෙසේ
පින් පුරව් සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ

~

ගායනය: බණ්ඩාර ආතාවුද
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගිතය: රෝහණ වීරසිංහ



Back to Top