18. දිව්‍යමය ආදරය...


රන්කැටි දෑත් මාලය
පලන්දා ගෙල වට
'ආදරෙයි' කියමින
සුවඳැති හාදු දෙන විට
වෙන කුමක් ඇවැසිද 
ඒ දිව්‍යමය ආදරය හැර...



17. පැංචාගේ රස කතා...


පැංචා සහ මං සාලයේ වෙසක් කූඩු සාදමින්. සීයා රූපවාහිනිය බලමින්. එක් වරම විදුලිය විසන්ධි වේ.

සීයා: ලයිට් ගියානේ.

පැංචා: එහා ගෙදරට ගියාද දන්නෙ නෑ.


*****

ආච්චි පැංචාව දොයි කරමින්.

ආච්චි: බුද්ධං සර...ණයි පුතු හට
          ධම්මං සර...ණයි පුතු හට
          සංඝං සර...ණයි පුතු හට -

පැංචා: ආච්චී... 'නයි පුතු' කියන්නෙ මොකද්ද?


*****

පැංචා සහ මං සාලයේ. පැංචාගේ පියතුමා ඉගෙනගත් විශ්වවිද්‍යාලය පිළිබඳ වැඩසටහනක් රූපවාහිනියේ විකාශය වනු ඇසේ.

මං: පුතේ අන්න තාත්තිට කියන්න තාත්තිගෙ කැම්පස් එක ටීවී එකේ පෙන්නනවා කියලා.

පැංචා: (සාලයේ සිට ගෙදරටම ඇසෙන්න කෑ ගසාගෙන දිව යමින්) තාත්තී... අන්න තාත්තිගෙ පැම්පස් එක ටීවී එකේ පෙන්නනවා...


*****

පැංචා: මං ආවෙ කොහෙන්ද?

මං: රෝස කැලෙන්නෙ.

පැංචා: නෑ නෑ... මං - ආ...වෙ - කොහෙන්ද?

මං: රෝස කැලෙන් තමයි ඉතිං.

පැංචා: නෑ... මං ආවෙ කොහෙන්ද? (අම්මාට තේරෙන හැටියකට පැනය අසාගන්නට බැරි වීමෙන් මූණ නාලු වී ඇත.)

මං: අම්මිගෙ බඩෙන්නේ.

පැංචා: හ්! මං එග් (egg) එකකින් නෙමෙයිද ආවෙ?


*****

මං පැංචාව නාවන තැනට පැමිණ සිත්තරා මොකද්දෝ විකාරයක් කියා ගියේය. එයට කෝප ගැන්වී මං කුටු කුටු ගානා අතර...

පැංචා: තාත්ති මොන මගුලක්ද කියනවා.

මං: (කොහෙන් අහුලාගත්තාදැයි සිතාගත නොහැකිව තැති ගැන්වී තරවටු මුහුණින්) චූටි බබාලා එහෙම කියන්නෙ නෑ!

පැංචා: ඇයි ඒ?

මං: ඒවා නෝටි කතා. එහෙම කියන්න හොඳ නෑ.

ටික දිනකට පසු. මං කුස්සියේ වැඩක. පැංචා සිත්තරා සමග කාමරයේ. සිත්තරා දුරකතනයෙන් හිතවතෙකු සමග කතා කරන හඬ ඇසේ. එක්වරම පැංචා කුස්සියට දුවගෙන එයි.

පැංචා: අම්මී... මගුලක් කියන්න හොඳ නැත්තේ චූටි බබාලා විතරද?

මං: බබාලයි ලොකු අයයි කවුරුත් කියන්න හොඳ නෑ.

පැංචා: තාත්ති දැං කිව්වනේ!


*****

නැන්දා: (මං සහ සිත්තරා දෙදෙනාම සිටිනා තැනකදී පැංචා සමග කතා කරමින්) බබා වැඩියෙන්ම ආදරේ අම්මිටද තාත්තිටද?

පැංචා: (අප දෙදෙනාගේම මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලා) ආච්චිට!


*****

මං: බබා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?

පැංචා: මං ලොකු වුණාම මංම වෙන්න තමයි කැමති.


*****

පැංචා සහ මං හිඳ සිටි සැටි පුටුව වෙත අමුතු සතෙක් බිම දිගේ ඇවිදගෙන එයි. අප දෙදෙනාම දෙපා උඩට ගෙන හූ තියන්නට සූදානම් වුණෙමු. ඒ මොහොතේදී මා ඒ මොකෙකුදැයි අඳුනාගත් අතර ඌද මොකක් හෝ ඉදිරි මාර්ගයේ ඇති අනතුරක් ගැන ඉව වැටී වමට කපා සීයාගේ කාමරය වෙත ගොස් අතුරුදහන් විය.

පැංචා: ඒ මොකෙද්ද ඒ?

මං: ඒ කැරපොත්තෙක්නේ, මකුළුදැල් ගොඩක් පටලවගෙන.

පැංචා: ඒ මොකද ඒ කැපෝ මකුළුදැල් පටෝගෙන යන්නේ.

මං: එයාටත් ලස්සන ඇඳුමක් ඇඳලා බලන්න ආස හිතෙන්න ඇති.

පැංචා: ඒ මොකටද ලස්සන ඇඳුමක් අඳින්නෙ? මගුල් ගෙදරක යන්නද?

මං: (සිනාව විකාගෙන) ආ, ඒක වෙන්න ඇති එහෙනං. මගුල් ගෙදරක යනවා වෙන්න ඇති ඒ කැපෝ.

පැංචා: සීයගේ කාමරේද මගුල් ගෙදර තියෙන්නෙ? 

මං: වෙන්න ඇති නේද? එයා සීයගෙ කාමරේටනෙ ගියෙ.

පැංචා: එතකොට මොකද අනිත් කැපෝලා එහෙ ගියෙ නැත්තෙ?

මං: අනිත් කැපෝලට මගුල් ගෙදරට එන්න කියන්න නැතුව ඇති.

පැංචා: ඒ මොකද අනිත් කැපෝලට මගුල් ගෙදර එන්න කියලා නැත්තෙ?


මගුල් ගෙදරට ආරාධනා නොලැබූ අනිත් කැපෝලා ගැන දුක සිතී පැංචා මූණ බෙරි කරගත්තෙන් මම වෙන කතාවක් පටන්ගත්තෙමි.


*****


තවත් රස කතා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. :D
Back to Top