1. ජාතික තොටිල්ල

ජාතික තොටිල්ල - එස්.මහින්ද හිමි

ලක් වැසියන් කෙරෙහි නැමී 
අරහත් මහ මිහිදු හිමී 
පෙව්වෙ උතුම් සදහම් මී 
පුත නුඹටත් පොවමි එ මී

ජාතිය රන් විමනක් වේ 
ආගම මිණි පහණක් වේ 
එය රැක ගන්නනට මෙළොවේ 
සමත් වෙතොත් පුත නුඹ වේ

මේබඳු උතුම් ලංකාවේ 
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙළොවට කිසි පළක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකත් හිරිහැරයත්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්
නැතිබැරි හිඟ අවහිරකම් 
මේ දේ මැඬගෙන දස්කම්
පෑම තමයි සුරු විරුකම් 

උස් තැන් දැක හැකිලෙන්නේ
මිටිතැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ 

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ලියූ 'ජාතික තොටිල්ල' නැමැති කාව්‍ය සංග්‍රහයේ කවි කිහිපයක් ඇසුරින් තැනුනු ගීයකි. රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයට මෙය ගයන්නේ සුනිල් එදිරිසිංහයන් ය.

සදාදර පුතණුවනි, ඔබ වෙනුවෙන් පෙළගැස්වෙන සිතුවිලි දායාදය මෙසේ අරඹන්නෙමු. මතු දිනෙක ඔබ රටට දැයට සමයට හිත ඇති - වැඩ ඇති, මනුසත් ගුණයෙන් සපිරුණු, සොඳුරු මිනිසෙකු වේවා යැයි පතනෙමු. සතුටින් සැහැල්ලුවෙන් ගලා යන සොඳුරු දිවිසැරියක උරුමකරුවෙකු වේවායැයි පතනෙමු. ඒ ගමනේදී අප දෙදෙනා ඔබ අසළින්ම සවිමත් අත්වැලක් වී හිඳින්නට සපතනෙමු.


Back to Top